හුදෙකළා දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලිය දිගටම

දකුණු අප්‍රිකාව ඉකුත් සඳුදා සිට තෙවැනි කාණ්ඩයේ හුදෙකලා කිරීමකට ලක් කෙරුණුද, ඉන් ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට බලපෑමක් ඇති නොවනු ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය නිවේදනය කරයි.
කෝවිඩ්-19 වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්ෆෝසා මහතා එරට රට වැසියන්ට මත්පැන් තහනම් කිරීම, දැඩි ඇඳිරි නීතිය, සමාජ රැස්වීම් තහනම් කිරීම, ගංගා, වෙරළ සහ උද්‍යාන වැසීම ඇතුළු නව සීමාවන් රැසක් පනවා තිබේ. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු රජය පැවසුවේ පිළිගත් ක්‍රීඩා ආයතන විසින් සංවිධානය කරන වෘත්තීය හා වෘත්තීය නොවන ක්‍රීඩා තරග ඇතුළුව කලා සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් අවසර ලබා දෙන බවයි.
ඒ අනුව තරගයට අවශ්‍ය ක්‍රීඩකයින්ට, තරග නිලධාරීන්ට, සහායක කාර්ය මණ්ඩලවලට, මාධ්‍යවේදීන්ට, ගුවන් විදුලි සහ රූපවාහිනී කාර්ය මණ්ඩලවලට, ආරක්ෂක නිලධාරීන්ට, හදිසි වෛද්‍ය සේවාවන්ට සහ ස්ථානයේ අයිතිකරුවන් විසින් සේවයේ යොදවනු ලැබ ඇති අතවශ්‍ය සේවකයන්ට පමණක් තරගය පැවැත්වෙන ස්ථානයට යෑම සඳහා අවසර ලැබෙනු ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු අතුරු පාලක මණ්ඩලය පැවසුවේ රජය විසින් පනවා ඇති නව සීමා කිරීම් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට බලනොපෑ බවයි. දෙටර අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි මස 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ වීමට නියමිත අතර, එය සැලසුම් කළ අයුරින්ම පැවැත්වෙන බව අතුරු පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අඟහරුවාදා (29 වැනිදා) තහවුරු කළේය.
නත්තල් දිනයේදී පමණක් දකුණු අප්‍රිකාවෙන් කොරෝනා රෝගීන් 14,796 ක් වාර්තා වී තිබේ. ඊට මසකට පෙර එනම් නොවැම්බර් 25 වැනිදා වන විට එරටින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,250 ක් පමණි.
ගෙවී ගිය සතිය තුළ දකුණු අප්‍රිකාව කොරෝනා වයිරස් රෝගීන් මිලියනය පසු කළේය.
-036